සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරි ම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා; සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නො ගත යුතු යි. සම්මා දිට්ඨියෙන් පෝෂණය නො වූ ශීලය, යමෙකුට ආභරණයක් කරගන්න පුළුවන්. එය ඔහුව නොමඟ යවන අනතුරුදායක ක්‍රියාවක් වෙන්න පුළුවන්.

සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්; සමාධියට, ප්‍රඥාවට ගොඩවීම සඳහා වන බලයක්.

මෙය සටහන් තබන භික්ෂුව යම් මොහොතක උතුම් පැවිදිභාවයට පත්වුණා ද, ඒ මොහොතේ පටන් ශීලයට හුඟාක් කැමති කෙනෙක්. භික්ෂුවගේ ශීලයට දෙවියන් වන්දනා කරනවා කියන කාරණය භික්ෂුව අත්දැකීමෙන් දන්නවා. මේ සටහන් තබන මොහොතේ භික්ෂුවට තමන්ගේ ගිහිකාලය මතක්වෙනවා. එම ගිහිකාලයේ සිල්පද රැකීම්වලට වඩා සිල්පද බිඳීම් වැඩියි. නමුත් ඒ සිල්පද බිඳීම්වලට සත්ව ඝාතනය, සොරකම, බොරුකීම කොහෙත්ම අයිතිවුණේ නැහැ. නමුත් වර්තමානයේ සිට අතීතයේ ගිහිජීවිතය දෙස බැලීමේ දී මම වඩාත් ගරුකරන්නේ, රැකුණු සිල්පදවලට වඩා බිඳුණු සිල්පදවලට යි. බිඳුණු සිල්පද නිසාමයි, මම ගිහි ජීවිතයේ දී කාමයන්ගේ ආදීනවයන් අත්දැකීම් තුළින් ම අවබෝධ කරගත්තේ. එසේ නොවුණා නම් තවමත් මම සදාචාරයේ නාමයෙන් අඳුරේ අතපතගාන මනුෂ්‍යයෙක්.

ගිහිජීවිතයේ දී මට හැකියාවක් තිබුණා, සිල්පදයක් බිඳිමින්, බිඳුණු සිල්පද මත හිඳිමින්, බිඳුණු සිල්පදය විදර්ශනා නුවණින් දකින්න. කිසිදු ගුරු උපදේශයකින් තොරවයි එය සිදුවුණේ. එය මම සංසාරයේ ලබපු පුහුණුවක්. මම සංසාරයේ ශක්තිමත් තැනකින් නතරකොට තිබෙනවා. ඒ අතීත සංසාරයේ පුරුද්දයි, මම ගිහිජීවිතයේ දී මතුකරගත්තේ. නමුත් පිංවත් ඔබ ඉහත කාරණාව අදාළ කරගන්න යන්න එපා. එය ඔබට අනතුරුදායක ක්‍රියාවක් වේවි. මොකද, අපි එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩී ඇති ආකාරය වෙනස්. එම නිසා වර්තමානයේ පිංවත් ඔබ සම්මා දිට්ඨිය නමැති නිවැරදි දොරටුවෙන් නිවන් මාර්ගයට ඇතුළු වී, ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොටගන්න. එවිට ක්‍රමානුකූලව ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කරලා දේවි.

පිංවත් ඔබ කෑම මේසයේ වාඩිවෙලා, බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැන්දක් පමණක් බෙදාගෙන හැමදා ම අනුභව කළොත් කවදාවත් පිංවත් ඔබට බෝංචි ව්‍යංජනය එපාවෙන්නේ නැහැ; අප්‍රිය වෙන්නේ නැහැ. නමුත් කෑම මේසයේ දී ඔබේ බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැඳි පහක් හයක් බෙදාගෙන අනුභව කළොත්, බොහොම ඉක්මනින් ඔබට බෝංචි එපාවෙනවා; අප්‍රිය වෙනවා. ඉහත බෝංචි ව්‍යංජනයේ කථාව අවසානයට මෙහි සටහන් කළේ, පිංවත් ඔබට විවේකීව ගොඩක් දේවල් ධර්මානුකූලව සිතන්න යි.

මම නම් ගිහිකාලේ කොයි දෙයත් නුවණින් දකිමින්, චපල තෘෂ්ණාවේ ගුණමකුබව හඳුනාගනිමින්, වැඩිපුර අනුභව කරපු කෙනෙක්. ඒ නිසා ම යි රසයන්ට අදාළ සියල්ල එපා වුණේ; සංහිඳී ගියේ. මේ සටහන් තබන භික්ෂුව රැඩිකල් භික්ෂුවක්. ‘රැඩිකල්’ කියන වචනය භික්ෂුවකට සුදුසු නො වෙන්න පුළුවන්. එහෙත් මොනයම් නුසුදුසු වචනයක් වුව ද, ඒ වචනය ධර්මයෙන් පෝෂණය වී ඇතිනම්, වචනයකට අපි බයවිය යුතු නැහැ. රැඩිකල් කියන වචනය භික්ෂුව පාවිච්චි කළේ සම්මතයෙන් පිට යමින්, සම්මතය තුළ ශක්තිමත් වූ භික්ෂුවක් නිස යි; ගිහිජීවිතයේ දී, අත්‍යවශ්‍ය මොහොතක සිල්පද බිඳිමින්, ශීලයෙන් පරිපූර්ණ පැවිද්දක් ලැබූ භික්ෂුවක් නිස යි; ජීවිතය මරණයට දමමින්, පංචඋපාදානස්කන්ධයට ඇති තෘෂ්ණාව සිඳලූ භික්ෂුවක්, අකුසලය විදර්ශනා නුවණින් දැක, කුසලය මතුකොට ගනිමින්, කුසලයත්, අකුසලයත් දෙක ම විදර්ශනා නුවණින් දැක්ක භික්ෂුවක්, ගිහිජීවිතය තුළ දී ම පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අත්දැක්ක භික්ෂුවක් නිස යි.