(නිරය – 2)

නිරය කියලා කියන්නේ යොදුන් දසදහස් ගණනක් මහපොළව යට තිබෙන ස්වාභාවික පරිසරයක්. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කෘත්‍රිමව ඇති කළා වූ පරිසරයක් නො වේ. නිරය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් මැව්වා වූ පරිසරයක් නො වේ. පිංවත් ඔබ, මනුෂ්‍යයා වාසය කරන මේ මනුෂ්‍ය ලෝකය නමැති පරිසර පද්ධතිය උපමාවට ගන්න. තද අව්රශ්මියෙන් ගිනිගන්නා කාන්තාර කලාපයන් තිබෙනවා. තද ශීතලෙන් අයිස් මිදෙනා කලාපයන් තිබෙනවා. තද සුළං, මීදුමෙන් යුත් පරිසර කලාපයන් තිබෙනවා. නිරය කියලා කියන්නේ ස්වාභාවික පාරිසරික කලාපයක්. පිංවත් ඔබ ජීවත්වන මනුෂ්‍ය ලෝකයේ ප්‍රමාණයෙන් හතරෙන් තුනක් ම මහා සාගරය විසින් වසාගෙනයි තිබෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ බිම් ප්‍රමාණයෙන් හතරෙන් එක් කොටසක් පමණයි, මනුෂ්‍යයාගේ වාසස්ථාන බවට පත්වෙලා තිබෙන්නේ. නමුත් මහා සාගරය යටත් නිරයන් පිහිටා ඇති නිසා මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයා ජීවත් වන බිම් ප්‍රමාණය වගේ තවත් තුන්ගුණයක් නිරයේ බිම් ප්‍රමාණය විශාල වෙනවා.

කවදාහරි අනාගතයේ දවසක කල්ප විනාශයක් සිදුවෙනවිට මහා සාගරය සිඳීගොස් වැලිතලාවක් බවට පත්වෙනවා. සිඳී ගිය මහා සාගරයට තවත් යොදුන් දහස් ගණනක් යටින් නිරයන් පිහිටලා තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබට දැන් වැටහෙන්න ඕනේ, නිරය කියලා කියන්නේ මොන තරම් පැතිරුණු සංකීර්ණ වූ, මහපොළොව යට තිබෙන ස්වාභාවික පාරිසරික කලාපයක් ද කියලා. එම ස්වාභාවික පරිසරය ගිනියම් වූ, උෂ්ණත්වය අධික පරිසරයක්. පිංවත් ඔබ, මනුෂ්‍ය ලෝකයේ ගිනිකන්දක් සිහියට නඟාගත්තොත් ගිනිකන්දක් සක්‍රීය වී ලාවා වැගිරෙන හැටි, ගින්දර වැගිරෙන හැටි, උණු අළු වැගිරෙන හැටි, උණු දිය වැගිරෙන හැටි සිහියට නඟාගන්න. පිංවත් ඔබ දකින ගිනිකන්දක් කියන්නේ, එහි ක්‍රියාකාරීත්වය කියන්නේ ස්වාභාවික පාරිසරික ක්‍රියාදාමයක්. නිරයන්ගේ පාරිසරික ස්වභාවයන් මෙයට සමාන යි.

පිංවත් ඔබ, මනුෂ්‍ය ලෝකයේ තිබෙන ගිනිකන්දක් සිහියට නඟාගෙන මේ මුළු මනුෂ්‍ය ලෝකය ම ගිනි කන්දක් කර මොහොතක් දකින්න. එම ගිනිකන්දෙන් ලාවා වැගිරෙන හැටි, ලෝදිය වැගිරෙන හැටි, ලෝදියෙන් ගංගා පිරෙන හැටි නුවණින් දකින්න. නිරය කියලා කියන්නේ මීට සමාන, අධික උෂ්ණත්වයෙන් යුත්, ස්වාභාවිකව ගොඩනැඟුණු පාරිසරික පද්ධතියක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යොදුන් සියයක් පුරා පැතිර පවතින මහනිරයන් දෙක ඝන යකඩ පවුරකින් වටවෙලා තිබෙනවා ය කියලා. ශ්‍රද්ධාව දුර්වල පිංවතුන්ලා ප්‍රශ්න කරනවා, මහපොළොවෙන් යොදුන් දසදහස් ගණනක් යට කොහොමද යකඩ පවුරක් තිබෙන්නේ, කවුද මේවා හැදුවේ කියලා.
එම ඝන යකඩ පවුරු කවුරුන් හෝ හැදුවා වූ යකඩ පවුරක් හෝ කවුරුන් හෝ මැව්වා වූ යකඩ පවුරක් නො වේ. නිරයේ ගිනිගෙන ගලායන ලෝදිය ඝන වීමෙන් ස්වාභාවිකව ම සැදුණා වූ ඝන යකඩ පවුරකින් තමයි, මහනිරයන් දෙක වට වී තිබෙන්නේ.

යම් කාලයක් ගතවූවාට පසුව මහනිරයේ ඝන යකඩ පවුරේ දොරටුවක් විවෘත වෙනවා ය කියන්නේ, යමපල්ලෙක් විවෘත කරනවා හෝ ස්වයංක්‍රීයව එම දොරටුව විවෘත වෙනවා නො වේ. එම ඝන යකඩ පවුරේ යම් විවරයක් ස්වාභාවික හේතූන් නිසා ම විවෘත වෙනවා. පිංවත් ඔබ නුවණින් දකින්න, තද මීදුම තිබෙන වෙලාවට පරිසරය සම්පූර්ණයෙන් ම මීදුමෙන් වැසී යනවා. හිරු මතු වී එනවිට මීදුම බැහැර වී යනවා. කම්මලේ යකඩයක් හොඳින් රත් කරන විට එම යකඩය ගිනියම් වී මුලින්ම ප්‍රමාණයෙන් ලොකු වෙනවා. ඒ වගේ නිරයේ උෂ්ණත්වයේ වැඩිභාවය නිසා වැසී තිබෙන විවරයන්, යම් මොහොතක ස්වාභාවික හේතූන් මත ඇතිවන උෂ්ණත්වයේ අඩුභාවයන් නිසා එම ඝන ස්වභාවය දියවී ගොස් විවරයක් විවෘත වෙන්න පුළුවන්. නැවත ක්ෂණිකව ඇතිවන උෂ්ණත්වයේ දැඩිභාවය නිසා එම විවෘත වූ විවරය වැසීයන්න පුළුවන්. මහනිරයන්ගේ දොරටු යම් කාලයක දී කෙටි මොහොතකට විවෘත වෙනවා ය කියන්නේ මෙවැනි ස්වාභාවික පාරිසරික හේතූන් නිසා වෙන්න පුළුවන්.

මහනිරයන්ට සමාන්තරව උණු අළු නිරය තිබෙනවා ය කියනවා. මහනිරයන්ගේ ගිනි ජාලාවන්ට පිළිස්සී ගලා එන ලෝදිය, ලාවා නිවී ඇතිවෙන උණු අළු සහිත පරිසර කලාපය, මේ උණු අළු නිරය වෙන්න පුළුවන්. එසේ නැතිව කවුරුන් හෝ උණු අළු නිරයක් කෘත්‍රිමව නිර්මාණය කෙරුවා නො වේ. නිරයේ දැඩි උෂ්ණාධික පරිසරයේ ස්වාභාවික හේතුඵල ධර්මයනුයි, ඉහතින් පිංවත් ඔබ දකින්නේ.

පිංවතුන්ලා කියනවානේ, නිරයට වැටුණහම කටුඉඹුලේ නග්ගනවා ය කියලා. නිරයේ තිබෙන්නේ එක කටුඉඹුලක් නො වේ. නිරිසතුන් කෝටිගණනින් අකුසලයේ දඬුවම් ලබන නිරයට එක කටුඉඹුලකින් කුමක් කරන්න ද? මේ කටුඉඹුල කියන්නේ, අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක් වගේ ගසක් නො වේ. නිරයේ ඉඹුල් වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්වාභාවික ශාක පද්ධතිය තමයි කටුඉඹුල් ගස් කියන්නේ. නිරයේ අධික උෂ්ණත්වය නිසා කටුඉඹුල් ගසේ කොළ නැහැ; කටු සහ තියුණු උල් පමණයි තිබෙන්නේ. අපේ රටවල උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන කටු සහ උල් අධික ශාක ගැන පිංවත් ඔබ මොහොතක් නුවණින් දකින්න. නිරයේ අධික උෂ්ණත්වය නිසා ම එම උෂ්ණත්වයට ඔරොත්තු දීමට එම කටුඉඹුල් ගස්වල කටු සහ උල්, යකඩ සහ වානේ වගේ ම ශක්තිමත්. මෙම ශාකවල කටු මුල් නිරතුරුව ම අධික උෂ්ණත්වයෙන් යුත් පරිසරයට නිරාවරණය වීමෙන්, එම පරිසරයේ ඇති තද සුළං හේතුවෙන්, මෙම කටු, උල් එකිනෙක ගැටීම හේතුවෙනුත් ඉඹුල් වනයේ සෑම ගසකම කටු, උල් තියුණු ලෙස මුවහත් වෙලයි තිබෙන්නේ. නිරයේ කටුඉඹුල් වනයට වැටෙන නිරිසතුන්ගේ සම්, මස්, නහර මෙම කටුවලට, උල්වලට ඇනී ඉරී, කැපී, පැලී යනවා කියන්නේ නිරයේ ස්වාභාවික පරිසර පද්ධතියෙන් ම එම දුක නිරිසතාට උරුම වෙනවා.