(භික්ෂුව මල් ඇතිරූ පාවඩ මතින් ගමන් කළේ ඇයි…?)

දෙවියා, බ්‍රහ්මයාට සාපේක්ෂව මනුෂ්‍යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට ආස්වාදයේ බලවත්භාවය නිසා ම අකුසල් මූලයන් රැස් වී පින විනාශකොට දමනවා. දැන් ඔහු පරාජිතයෙක්. ලෝකය කවදාවත් හිස්වීමක් නැහැ; පුරප්පාඩු නැහැ. තව තත්පරයකින් ශක්‍ර දෙවියන් දිව්‍ය ලෝකයේ දී පිරිනිවී ගියොත්, ඒ ක්ෂණයේ දී ම ශක්‍ර දෙවියන් වෙලා තවත් පිංවන්තයෙක් උපත ලබනවා. තාවකාලිකව හෙවත් වැඩ බලන්න කවුරුවත් පත්කරන්නේ නැහැ. තණ්හා පච්ඡයා උපාදාන, උපාදාන පච්ඡයා භව කියන ධර්මතාවය, සැපයන් කෙරෙහි, සශ්‍රීකභාවය කෙරෙහි කැමැත්ත කෙරෙහි ඇස ගසාගෙනයි සිටින්නේ. අතිරික්තය නිසා තරගයක් මිසක් පුරප්පාඩුවක් නැහැ. තෘෂ්ණාව යසඅගේට, භවයේ නිලතලවල පුරප්පාඩු අසුරු සැණින් පුරවනවා.

නමුත් බුදුරජාණන් වහන්සේ නමක් නැවත ලෝකයේ පහළවෙන්න තවත් අවුරුදු ලක්ෂ විසිපහකට වඩා කාලයක් ගතවෙනවා. තෘෂ්ණාවේ නිරෝධයට, තෘෂ්ණාවේ විනාශයට මාර්ගය මතුකොටදෙන බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභ වෙන්නේ, ලෝකයේ නැවැත්මට වඩා ලෝකයේ ගලාගෙන යෑම ශක්තිමත් නිසා ම යි. පිංවත් ඔබ තුළ තෘෂ්ණාව වැඩිවෙනකොට, ඔබට ලෝකය දීර්ඝ වෙනවා. ඔබේ තෘෂ්ණාව සියුම් වෙනකොට, ඔබ ලෝකයෙන් හුදෙකලා වෙනවා.

ලෝකයත්, රටත්, ජාතියත්, ආගමත් තමා තුළ සකස් වෙන පංචඋපාදානස්කන්ධයක් වූ ධර්මයන්. ඔබ කාම, රූපී, අරූපී භවාත්‍රය තුළ, නැතිනම් ලෝක සිතියම තුළ ලෝකය සෙවීමේ නිරර්ථක වෑයමක යෙදී සිටිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මුති ලෝකය තුළ ලෝකය සොයන්න එපා, තමා තුළින් ලෝකය මතුකොටගන්න කියලා. පිංවත් ඔබ තවමත් එයට සූදානම් නැතිනම්, ඔබ වැටෙන දීර්ඝ භවගමනට එක ම මඟ වියදම වෙන්නේ පින යි.

පිංවතෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, පින කියන වචනයේ අර්ථය කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් ය කියලා. එහෙමනම් සත්වයා ලබන ආයුෂ, වර්ණය, සැපය සහ බලයයි පින කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය-කර්මඵල විශ්වාසයෙන්, සියතින් සාදාගත් දෙයින්, සකසා ප්‍රණීතව දන්දීමෙන් සශ්‍රීක යසඉසුරින් පිරි ධන සම්පත් ලබනවා ය කියලා. ඔහු තමන් ලබන්නා වූ ධන සම්පත්, යසඉසුරු තමාගේ සැපය උදෙසා සුව සේ පරිහරණය කරනවා. සමාජයේ ජීවත්වන පිංවතුන් සිටිනවා, එම අය තමන්ට යසඉසුරු, ධන සම්පත් ලැබුණත්, ඒවා සුව සේ පරිහරණය කොට ජීවිතයට සැප ලබන්නට ඔවුන්ට සිතදෙන්නේ නැහැ. ලක්ෂ ගණන් ආදායම් තිබෙනවා. නමුත් ඔහු කෑමට ගන්නේ නීරස, කටුක ආහාරයක්. අල්මාරියේ ඇඳුම් කට්ටල විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ඔහු පරිහරණය කරන්නේ එක ම ඇඳුමක් පමණයි. ගෙදර වාහනයක් තිබෙනවා. නමුත් ඔහු ගමන් කරන්නේ පොදු වාහනයක. සම්පත්, ධනය ලැබුණා. නමුත් භුක්ති විඳින්නට ඉඩදෙන්නේ නැහැ.

මීට ප්‍රධාන ම හේතුව වෙන්නේ පෙර ජීවිතයේ දී දන් පූජා කළ නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය-කර්මඵල විශ්වාසය, සියතින් සාදා දන්දීම, ප්‍රණීතව සකසා දන්දීම කියන අර්ථයන් දුර්වලවයි ඔහු දානය පූජාකරගෙන තිබෙන්නේ. නමුත් පිංවතුන්ලා, මේ සංස්කාරයන්ගේ ස්වභාවය ධර්මානුකූලව හඳුනාගැනීමට නො හැකිවීම නිසා ම, මෙවැනි කර්ම විපාකයන් තමාගේ අල්පේච්ඡභාවය, තමාගේ සරලභාවය වැනි නොමඟ ගිය අර්ථකථනයන්ගෙන් හඳුන්වාගන්නවා. අකුසල් සංස්කාරයන්ගේ විපාකය නිසා යම් පිංවතෙකුට සැපසම්පත්, යසඉසුරු ලැබෙද්දී ඒවා භුක්ති විඳීමට, ඒවායින් සැප ලැබීමට සිත නො දෙනවා ය කියලා, කුසල් සංස්කාර හේතුවෙන් තමන්ට ලැබෙන යසඉසුරු, සැපසම්පත්, ධනය, සුව සේ සැප සේ භුක්ති විඳින පිංවතුන්ලාට, ඔවුන් වැරදියි කියලා ඇඟිල්ල දිගු කරනවා නම්, එය ධර්මය වැරදියි කියලා ඇඟිල්ල දිගුකිරීමක් වෙනවා. පින විපාකයට එන විට සැබෑ දක්ෂයා පිනට අදාළ සැපයන් භුක්ති විඳින්නේ සිල්පද ආරක්ෂා කරගෙන යි. අදක්ෂයා, තමාගේ පිනට අදාළ සැපයන් ලැබෙනකොට ආස්වාදයට මත් වී, ශීලයෙන් දුර්වලභාවයට පත් වී අනතුරට පත්වෙනවා.

ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලායන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය සිල්පද ආරක්ෂා කොටගෙන භුක්ති විඳින්න ය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ තමන් ප්‍රතික්ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්ෂුව පසුගිය වසර දෙකේ දී ප්‍රසිද්ධ ධර්මදේශනාවන් පවත්වන විට පිංවතුන් මහා සංඝරත්නය අරමුණුකොට, භික්ෂුවට මලින්, සුවඳින්, ආලෝකයෙන්, පාවඩවලින් අප්‍රමාණ පූජාවන් දැක්වූවා. හුඟක් පිංවතුන් ස්වයංව තීරණය කරලා භික්ෂුව වඩින පාවඩ මත මල් අතුරා තිබුණා. භික්ෂුව තුළ මේ කිසි ම ධර්මතාවයකට ඇලීමක් හෝ ගැටීමක් ඇතිවුණේ නැහැ. මේවා නිසා සකස් වූ උපේක්ෂා සහගත සිතත් අනිත්‍ය වශයෙන් දකිමින්, එම පූජාවන් පැවැත්වූ පිංවතුන්ලාට, පූජා කළ සෑම මලකට ම ධර්මයේ ඉහළ ම වටිනාකම ලබාදුන්නා. නමුත් සමහරක් පිංවතුන්ලා, පිනේ විපාකදීමේ ස්වභාවය නො දන්නා නිසා ම මේවා දැකලා ගැටුණා. නමුත් භික්ෂුව එම පිංවතුන්ලාට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ, දිව්‍යතලයේ දිව්‍ය උයන්වල, දිව්‍ය මදාරා මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස් හොඳින් වැඩුණු අඹගස් වගේ විශාලයි. එම දිව්‍ය මදාරා මල්ගස්වල කොළ නැහැ. තනිකර ම මලින් බරවෙලයි තිබෙන්නේ. සුදු, නිල්, රතු, කහ… නේක වර්ණ මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස්වලින් මදාරා මල් ගෙනැවිත්, භික්ෂුව වඩින පාවඩ මත ඇතිරුවත්, භික්ෂුව නො බියව, නො පැකිළව එම මල්පාවඩ මත වඩිනවා ය කියලා.

භික්ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව ගැන භික්ෂුවට සැකයක් නැහැ. මේවා දුර්වල වුණු තැනයි, එවැනි දෑ පරිහරණය පිණිස බිය සකස්වෙන්නේ. භික්ෂුව එදා මල්පාවඩ මත ගමන් කළේ, මලින්, සුවඳින්, ආලෝකයෙන් කළ පූජාවන් සංඝරත්නය වෙනුවෙන් පිළිගත්තේ ලෝකයාට ආදර්ශයක් දෙන්නයි, මෙන්න පින නමැති සංස්කාරයන්ගේ සැබෑ ම ඵලය කියලා. පිංවතුන්ලාට ධර්මයේ පාඩමක් කියාදීමට යි. මේ පාඩම සම්මා දිට්ඨියේ අර්ථය පිළිබඳව පාඩමක්. අපි මේ කුසල් සංස්කාරයන් විපාක දෙන ස්වභාවය සඟවාගෙන සිටියොත්, පිංවතුන්ලාට ආදර්ශයක් නොමැති වෙනවා. එදා භික්ෂුවට පුළුවන් වුණා, පිනේ සහ කුසලයේ සැබෑ ම ශක්තිය පිංවතුන්ලාට ඔප්පුකොට පෙන්වලා, පිංවතුන්ලාට පින කෙරෙහි ඇති ඡන්දය ශක්තිමත්කොට දෙන්න; භවගමනේ සැපයට අදාළ සංස්කාරයන් දියුණුකොට දෙන්න. පිංවත් ඔබට මුල් පියවරේ දී ප්‍රඥාව මතුකොට ගැනීම පිණිස ආයුෂ, වර්ණය, සැපය, බලය අත්‍යවශ්‍ය වෙනවා. භික්ෂුව නැවතත් පිංවත් ඔබට කරුණාවෙන් මතක්කොට දෙනවා; පින විපාක දෙනකොට සැපයෙන් පලායන්න එපා. සිල්පද ආරක්ෂා කරගෙන පින භුක්ති විඳින්න. ලෝකයාට පිනේ ශක්තිය මතුකොට පෙන්වන්න. මෙය සම්මා දිට්ඨියට පත් වූ පිංවතෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා.

බුදුරජාණන්වහන්සේගේ පෙර පාරමී ශක්තිය නිසා ම ලැබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ සඟවාගෙන ජීවත්වුණේ නැහැ. පිනේ ඵලයට බුදුරජාණන් වහන්සේ විවෘතව බබළන්න දුන්නා. සීවලී මහ රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවා ය කියලා, අනෙක් සෑම රහතන් වහන්සේ නමකට ම වඩා තමන්ට සිව්පසය ලැබුණා ය කියලා, මෙය දැක අනෙක් ස්වාමීන් වහන්සේලා ගැටේවි යයි සිතා කැලයට ගොස් ජීවත්වුණේ නැහැ. මහානාම ශාක්‍යයා මේ ශාසනයේ ප්‍රණීතව දන්දෙන්නන් අතර අග්‍රස්ථානයට පත් වූ උපාසකතුමා. එතුමා, දකින අනෙක් අය ගැටේවිය කියලා තමන් විසින් ස්වාමීන් වහන්සේලා උදෙසා ප්‍රණීතව දන්දීම නැවැත්තුවේ නැහැ. ධර්මය සඳහිරු සේ බබළනවා.