අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින් ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩිවැඩියෙන් අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්, බලවත් කෙනා දුබලයාගේ දෙය අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්, නැති කෙනා ඇති කෙනාගෙන් සොරාගැනීම හේතුවෙන් ඇති වූ අර්බුදයට පිළියමක් වශයෙන්, ජනතාව එකතුව තමන් අතර සිටින ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩි ම පුද්ගලයා තම පාලකයා වශයෙන් තෝරාගත්තා. මොහු මිනිස් ප්‍රජාවගේ පළමු පාලකයා වෙනවා. මේ පාලකයාගේ නඩත්තුව සඳහා සෑම පුද්ගලයෙක් ම තම අස්වැන්නෙන් සුළු කොටසක් ලබාදීමට එකඟවෙනවා. මෙය රාජ්‍ය බදු ක්‍රමයේ ආරම්භය වෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ඇති වූ දා පටන් ම පාලකයා කියන්නේ පිනේ ඵලයක් ම යි.

අතීතයේ ජීවත් වූ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා, අජාසත්ත රජතුමා තමන්ට පෙර පින නිසා ම ලැබුණු සම්පත්, සැපයන් සුව සේ පරිහරණය කළා; රජ මාළිගාවල ජීවත් වුණා; මිල අධික ම අජානීය අසුන්, ඇතුන් පරිහරණය කළා. මේ සෑම රජ කෙනෙකුට ම රූමත් අන්තඃපුර බිසෝවරු සිටියා. මේ බිසෝවරුන් අයිතිකොට ගැනීමේ දී රජතුමාට සම්මත විනයක් තිබුණා. තමන් රජු ය කියලා රජවරු මේ විනය කඩ කළේ නැහැ. ස්වාමිපුරුෂයා ජීවතුන් අතර සිටින කිසි ම කාන්තාවක් රජවරු තම අන්තඃපුරයට ගත්තේ නැහැ. මේ සෑම රජකෙනෙක් ම බුදුරජාණන් වහන්සේව සමීපව ඇසුරු කළ අය යි. ඒත් බුදුරජාණන් වහන්සේ කිසි ම අවස්ථාවක දී රජවරු ලබන මේ සැපසම්පත් විවේචනය කළේ නැහැ; අන්තඃපුර වසාදමන ලෙස බලපෑම් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැම සැප සම්පතක් ම අතීත කුසල් සංස්කාරයන්ගේ ඵලයන් ය කියලා. රාජ්‍ය වංශයට උරුම සම්ප්‍රදායන්ට බුදුරජාණන් වහන්සේ ගර ැ කළා. බුදුරජාණන් වහන්සේ මේ සෑම රජ කෙනෙකුට ම තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිලි කළා. ශීලයේ, දානයේ වටිනාකම පැහැදිලි කොට අවවාද අනුශාසනා කළා. බිම්බිසාර රජතුමාගේ ඛේමා අගබිසව රාජ සම්පත් හැරදමා උතුම් අරහත් උත්තමාවියක් බවට පත්වුණා. උදේනි රජතුමාගේ සාමාවතී බිසව සෝවාන් ඵලයට පත්ව සිටි අන්තඃපුර බිසවක්. කොසොල් රජතුමාගේ මල්ලිකා බිසව නිරතුරුව ම බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබුව බිසවක්. මේ කිසි ම තැනක බුදුරජාණන් වහන්සේ වැරැද්දක් දැක්කේ නැහැ.

දඹදිව සෑම රාජ්‍යයක ම ප්‍රසිද්ධ ගණිකාවක් සිටියා. මේ ප්‍රසිද්ධ ගණිකාව රාජ්‍යයට සම්පතක්, ගෞරවයක් හැටියට යි එදා ජනයා දැක්කේ. ඇයගේ රූමත්භාවය නිසා ම රාජ්‍යයේ ජනප්‍රියභාවය වැඩිවුණා. මෙවැනි ප්‍රසිද්ධ ගණිකාවක් තමයි, අම්බපාලිය. ඇය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට තම නිවසේ දානයකට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇයගේ දානය සතුටින් භාරගත්තා. මේ බව දැනගත් ලිච්ඡවී කුමාරවරු, අම්බපාලියගේ දානය ප්‍රතික්ෂේප කොට තම දානය පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට අම්බපාලියගේ දානයට වැඩම කළා. අම්බපාලිය ප්‍රසිද්ධ ගණිකාවක් වුවත් බුදුරජාණන් වහන්සේ ඇය තුළින් ඇයගේ රූමත්භාවය, ධනසම්පත් සේ ම ගණිකාවක් වීම ද දැක්කේ සංස්කාරයන්ගේ ඵලයන් හැටියට යි.

පිංවතුන්ලාට කුසල්, අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් මතුකොට පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථය යි. ඔබ තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල නම්, මේ කාරණා නිවැරදිව හඳුනාගන්න බැරිවෙනවා. ලෝකයේ මිථ්‍යා දෘෂ්ටියෙන් පෝෂණය වුණ, යම් යම් දේශපාලන මතවාදයන් තිබෙනවා. එම මතවාදයන් විසින් ලෝකයට උගන්වන්නේ රජතුමාත්, කම්කරු පිංවතාත් සම මට්ටමක තිබිය යුතුයි කියලා; සම අයිතිවාසිකම් භුක්ති විඳිය යුතු ය කියලා. මෙවැනි මිථ්‍යා දෘෂ්ටික මතවාදයන්, පිංවතුන්ලාව මුළාකිරීමටත්, පිංවතුන්ලා තුළ ද්වේෂය ඇතිකිරීමටත් හොඳ පොහොරක් වෙනවා. නමුත් එවැනි මතවාද බුද්ධාගම විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා.

යම් පිංවතෙක්, තවත් පිංවතෙක් විඳින සැපය විවේචනය කරනවා නම්, ඔහු විවේචනය කරන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයක් ම යි. සමාජය තුළ ජීවත්වෙන, ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත, සිල්පද ආරක්ෂා කොටගෙන එම සැපයන් භුක්ති විඳින පිංවතුන්ලා දකිනකොට, පෙර පුණ්‍ය ශක්තියේ ස්වභාවය යි අපි දකින්නේ. ලෞකික සම්මා දිට්ඨියේ අර්ථයන්ගේ ජීවමාන සාධකයනුයි ඔබ දකින්නේ. මෙවැනි සැප විඳින පිංවතුන් බෞද්ධ වේවා, අබෞද්ධ වේවා ඔවුන් පින ගැන වටිනා පාඩමක් සමාජයට කියලා දෙනවා.

පිංවත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා; ද්වේෂ කරන්න එපා. එවැනි අකුසලයන්ට අන්‍යයන්ව ද පොළඹවන්න, උසිගන්වන්න එපා. පුද්ගලයෙක් විඳින සැපයට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන, ඔබත් සැපයට අදාළ සංස්කාරයන් ජීවිතයට එකතු කරගන්න.