බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ කුසල් සංස්කාරයන්ට අදාළ ධර්මයන් නො දන්නා නිසා ම මිථ්‍යා දෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය-කර්මඵල විශ්වාසයන්ට පහරදෙමින්, දානයේ, ශීලයේ ආනිශංස කෙරෙහි විශ්වාසයෙන් බැහැර වෙමින්, තෙරුවන්ට ගරු නො කරන, සද්ධර්මයක් ශ්‍රවණය නො කරන, පන්සලකට, ආරණ්‍යයකට නො යන, සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දශමයක්වත් නො දන්නා පිංවතුන්, මිථ්‍යා දෘෂ්ටියේ ඵලයන්, ධනාත්මක වටිනාකම් හැටියට සමාජගත කිරීමේ මාරපාක්ෂික ක්‍රියාදාමයන්, පිංවත් ඔබ විසින් නුවණින් හඳුනාගැනීම, ඔබේ සම්මා දිට්ඨියේ අර්ථයන් දියුණුකොට ගැනීමට ඔබට පහසුවක් වෙනවා.

සම්මා සම්බුද්ධ ශාසනයට හිතැති ගිහි පිංවත් ඔබ, ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ගේ පෝෂණය උදෙසා ම ලබාදෙන්න. සමාජයේ ජීවත්වෙන ලොකු කුඩා කවුරුන් වේවා, ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කෙනෙක් නම්, පන්සලකට, ආරණ්‍යයකට නො යන කෙනෙක් නම්, ශීලයට වටිනාකමක් නො දෙන, සංඝරත්නයට දන් නො දෙන කෙනෙක් නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මූලිකත්වය නො දෙන කෙනෙක් නම්, පිංවත් ඔබ කරුණාකර ඔහු සමඟ නො ගැටෙන්න. ඔහු තුළින් මිථ්‍යා දෘෂ්ටිකභාවයේ හැඩරුව හඳුනාගන්න. එම පිංවතුන්ගේ අදහස්වලට වටිනාකමක් දෙන්න එපා. එවැනි පිංවතුන්ලාව මඟහැර යන්න ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ නො දන්නාභාවය නිසා ම, ආවේගශීලීභාවය නිසා එවැනි මිථ්‍යා දෘෂ්ටික අදහස්වලට අනුකූලත්වය දැක්වුවහොත් ඔබ තුළත් නැති ලෝභ සිත් ඇතිවෙනවා; නැති ද්වේෂ සිත් ඇතිවෙනවා; නැති මෝහ සිත් ඇතිවෙනවා. අවසානයේ අනුන්ගෙන් පළිගැනීමට ගොස් තමන් සකස් කරගන්නා අකුසල් හේතුවෙන් තමා නො දැනුවත්ව තමාගෙන් ම පළිගන්නවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, යම් දවසක් එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක් වෙනවා. මේ සියල්ල ම මේ ආකාරයෙන් වියළී, සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී, වියළී නිමාවට පත් නො වෙනවා”ය කියලා.

භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක් විනාශකාරී ස්වභාවයක් අරමුණු වෙනවා. උන්වහන්සේට දේශසීමා, සීමාමායිම්, තාප්ප, වැටකඩොලු කිසිවක් නැති මහපොළොවක් අරමුණු වෙන්නේ. ගහක් කොළක්, කන්දක්, ගල්පරයක් නැති, ඇළක් දොළක්, ගංගාවක්, මහසාගරයක් නැති මහපොළොවකුයි අරමුණු වෙන්නේ. මුළු පරිසරය ම දුමෙන් වැහිලා. දුම තුළින් භික්ෂුවට පරිසරය විනිවිද පෙනෙනවා. තද කළු විෂම දුමක් නොවේ තිබෙන්නේ. ළා කළු සහ අළු පැහැති දුමක් පෙනෙන්නේ. තදින් පිච්චී ගිය කුට්ටි කුට්ටි කොටස් හැටියට ආකාශයේ කෑලි කඩාගෙන වැටෙනවා. ඒවා කැඩී ඒවා ආකාශය තුළ දී ම අළු දුහුවිලි බවට පත් වී පරිසරයට, මහපොළොවට එකතුවෙනවා. මෙම කඩාවැටෙන කුට්ටි භික්ෂුවට පෙනෙන්නේ, යම් ඝන දෙයක් හොඳට ම දැවුණාට පසුව සකස්වෙන අළු කුට්ටි ස්වභාවයට. එවැනි අළු කුට්ටි දහස් ගණනක් භික්ෂුවට දර්ශනය වෙනවා. පරිසරය තුළ වේගවත් ක්‍රියාකාරීත්වයක් සිද්ධවෙනවා, ස්වභාවිකව ම. අළු දුහුවිලි විනා, අඟුරු කැබැල්ලක දෙයක්වත් භික්ෂුවට අරමුණු වෙන්නේ නැහැ. පස් කැබැල්ලක්වත්, ගල් කැබැල්ලක්වත් අරමුණු වෙන්නේ නැහැ. සියල්ල පිළිස්සී ගොසින්. සියල්ල අළු දුහුවිලි ලෙසයි පෙනෙන්නේ. භික්ෂුවක් උතුම් සමාධියෙන් දැකපු මේ දර්ශනය, අතීතයේ සිදු වූ කල්ප විනාශයක අවසාන ජවනිකාවක් කියලයි එම භික්ෂුව විශ්වාස කරන්නේ. භික්ෂුවක් දකින මේ කල්ප විනාශයේ දී, මුළුමහත් මහපොළොව ම සමතලා බිමක් බවට පත්වෙනවා. ගල්, කඳු පවා දැවී අළු බවට පත්වෙලයි තිබෙන්නේ.

මේ දර්ශනය දැකීමට පෙර භික්ෂුව සිතාගෙන සිටියේ යොදුන් අසූහාරදහසක් ගැඹුරු මහා සාගරයේ පිහිටි මහාමේරු පර්වතය, මහා සාගරය ම සිඳී, ගිනිගෙන විනාශ වුණාට පස්සේ, සිඳීගිය මහා සාගරය තුළ ගැඹුරු අගාධයක් ලෙසින් පෙනෙනවා ය කියලා. එහෙත් භික්ෂුව උතුම් සමාධියෙන් දකින්නේ, මුළු මහා සාගරය ම සිඳීගියත්, එම සිඳීගිය මහා සාගරයේ යොදුන් අසූහතරදහසක් වූ ගැඹුර, අළුවලින් පිරීගොස් තිබූ ආකාරයක්. මොකද ජලය සිඳුණු සාගරයක් භික්ෂුවට අරමුණු වෙන්නේ නැහැ. සමතලා පොළොවක් පමණයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ජලය සිඳී ගිය මහා සාගරයේ හිස් ස්වභාවය, මහාමේරුව ගිනිග ැනීම නිසා කඩාවැටෙන අළුවලින් පිරීගොස් මුළුමහත් පොළොව ම සමතලා බිමක් වශයෙනුයි භික්ෂුවට අරමුණු වෙන්නේ.

මෙතැනදී භික්ෂුව අත්දැකීමෙන් දකිනවා, මහාමේරු පර්වතයත්, මුළු මහපොළොවේ ස්වාභාවික පරිසරයත් ගිනිගෙන විනාශ වීමෙන් පසුව, බොහොම ඝන අළු තට්ටුවක් මහපොළොව මතුපිට සමතලා ආකාරයට පිහිටනවා කියලා. මහපොළොව සහ සිනේරු පර්වතයේ ගල්, වැලි, පස් සහිත රස පොළොවේ සාරය ඉරවල් හතක උෂ්ණත්වයෙන් පිච්චී, මහපොළොව මත ඇතිවන ඝන අළු තට්ටුවයි, ඉනික්බිති මහා වැසි පතිත වී ඇතිවෙන රසායනික හෝ ස්වාභාවික වෙනත් ක්‍රියාවලියක් නිසා, රසැති යෝගට් එකක් සේ මහපොළාව මත මිදෙන්නේ. මෙවන් හේතුඵල ධර්මයන්ගේ විස්මිත යථාර්ථයක් වූ කල්ප විනාශයකුයි තම සමාධියෙන් එම භික්ෂුව දර්ශනය කර ගත්තත් එම දර්ශනය එම භික්ෂුවට තවත් එක් අතීත පංචඋපාදානස්කන්ධයක් පමණක් ම යි. දැක්කා කියන තැන එම භික්ෂුව නැවතිලා, එය හුදු හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඔබ වහන්සේ ම යි මාර්ගය වූයේ.

භික්ෂුව අතීත කල්ප විනාශයන් පිළිබඳව යම් චිත්‍රයක් ඔබට සටහන් කළේ, මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට පෙන්වන්න. කල්ප විනාශයේ උෂ්ණත්වය, දුම, කෑලි පිපිරී මහාමේරුව අළු කුට්ටි වශයෙන් මහපොළොව මතට කඩා වැටීම කියන කාරණය භික්ෂුවට සිහිපත් වෙන්නේ, ඒ කටුක, වියළි, උණුසුම් පරිසරය තුළ පිංවත් ඔබත් මමත් පිච්චි පිච්චී අමනුෂ්‍යයන් හැටියට වින්දා වූ දුක යි. කෝටි ප්‍රකෝටි කීයක් සත්වයින් මේ දුක්ගිනිවලට පිච්චෙමින්, මැරෙමින්, ඉපදෙමින් දුක්විඳින්න ඇති ද? පිච්චීම වැඩිවෙනකොට අකුසල මූලයන් වැඩිවෙනවා. අකුසල මූලයන් වැඩිවෙනකොට මරණය වේගවත් වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලිය ම සිදුවෙනවා. කල්පයක්
තුළ කරගත්තා වූ මහාමේරු පර්වතය වැනි අකුසල් කන්දක් සත්වයාට කල්ප විනාශයක දී විපාක දෙනවා. පිංවත් ඔබ කලකිරෙන්න. අසාධාරණ ලෝකයක් මේක. මනුෂ්‍යකමක් නැති ලෝකයක් මේක. කෘතවේදීත්වයක් නැති ලෝකයක් මේක. අසත්පුරුෂ මාරයාට අයිති ලෝකයක් මේක. සශ්‍රීකභාවය, ධනවත්භාවය, රූමත්භාවය, උගත්භාවය, කුලවත්භාවය පෙන්වලා, ඒවා කෙරෙහි කාමච්ඡන්දයන් සකස්කොට දීලා, අකුසලයට යොමුකරලා, කල්ප ගණන් සුගතිය-දුගතිය අතර දෝලනය කරලා, අවසානයේ පුච්ච පුච්චා මරාදමනවා.