තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නමැති වදකයා කල්‍යාණ මිතුරෙක් සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින් ම සතුරා, වධකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ බාහිර රූපයක් ම යි. භික්ෂුව ඔබට උදාහරණයක් දක්වනවා. කෙනෙක් පිංවත් ඔබට චෝදනාවක් කරනවා. ඔබ ඔහුත් සමඟ සන්ඩුවට යනවා. අනුන්ගේ ක්‍රියාවක් ඔබේ කර පෙන්වා ඔබව අකුසලයට යොමු කළේ ඔබ තුළ සැඟවී සිටි වධකයා ම යි. වධකයා නිරතුරුව ම ඵස්සය ළඟ නැවතී ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කර දෙනවා. දැන් ඔබ සැප වේදනාවත්, දුක් වේදනාවත්, උපේක්ෂා සහගත වේදනාවත් තුරුල්කර ගන්නවා. වධකයා දුක්, සැප, උපේක්ෂා වධයන් දෙමින් භවයෙන් භවයට පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. භික්ෂුවගේ ගිහිකාලයේ ‘වදකය’ මට බොහෝ ම කාරුණික, මෛත්‍රී සහගත සුරතල් අදහස් ඉදිරිපත්කර තිබෙනවා.

“දැන් ම පැවිදිවෙන්න එපා. කසාදයක් බැඳලා දෙදෙනා ම එකට පැවිදිවෙන්න. අවුරුදු හැට පිරුණාට පස්සේ පැවිදිවෙන්න. පැවිදිවෙන්න අවශ්‍ය නැහැ. හොඳින් ජීවත්වුණාම ඇති. කසාද බැඳලා දරුවෙක්ව පැවිදි කරවන්න.” තමා තුළ ම සැඟවී සිටි වධකයා භවගමනේ පටිච්ච සමුප්පන්නව, මාව වධයට පමුණුවන්න මොන තරම් සුරතල් වදන් කියලා තිබෙනවා ද? ආදරය පෙන්වලා වධකයා කල්ප කොච්චරකට ඔබව පුච්චලා දමන්න ඇති ද?

එක්තරා තීරණාත්මක රාත්‍රියක දී වධකයා භික්ෂුවට බොහෝම ලස්සන අදහස් දෙනවා. එම අදහසේ ආදරය, ළෙන්ගතුබව, කරුණාව හොඳින් තවරලයි තිබුණේ. වධකයා භික්ෂුවට කියනවා, “නිවීම උදෙසා ඔබ ජීවිතය මරණයට දමන්න එපා. ඔබ මේ ව්‍යායාමයේ දී අපවත් වුවහොත් ඔබට නිවන අහිමිවේ” ය කියලා. භික්ෂුව මේ වෙලාව වෙනකොට වධකයාව හඳුනාගෙනයි සිටින්නේ. ඒ හඳුනාගැනීම තුළින් වධකයා බැසගෙන සිටිනවා ය කියලා භික්ෂුව අවබෝධයෙන් ම දන්නවා. බොහෝ ම සියුම්ව අතුරේ යන ගමනක්. ඥාන දර්ශන තුළින් රූපය කෙරෙහි තෘෂ්ණාව බිඳදැමූ තැනදී වධකයාට, ඒ කියන්නේ විඤ්ඤාණයට බැසගැනීමට ඇති මව්භූමිය අහිමි කළා වෙනවා. එතැනදී පිරිනිවීමත් සමඟම වධකයාට නිවීයන්නයි සිද්ධවෙන්නේ.

කොයි තරම් ලස්සන, සුන්දර ධර්මයක් ද? කල්ප කෝටි ගණන් පටිච්ච සමුප්පන්නව ගලාගෙන පැමිණි දුකක්, එක සිතුවිල්ලකින් නිවාදමනවා. සත්වයාට සැපයට මඟ කියන මෙවන් ධර්මයක් මේ ලෝකය තුළ නොමැති බව නුවණින් දකින්න. මේ උතුම් ධර්මය එක දිනක් හෝ ලෝක සත්වයාට යහපත පිණිස, සැපය පිණිස සුරක්ෂිතව තැබීමට ඔබත් ධර්මය තුළින් ම කැපවෙන්න. ක්‍රමානුකූලව බෞද්ධ ජනතාව ශ්‍රද්ධාවෙන් බැහැරව යන විට හේතුඵල ධර්මයන් නිසා ම මේ උතුම් බිමේ අන්‍ය ආගමික පිංවතුන්ගේ ගහනය වැඩිවෙනවා. අනාගතයේ මේ පිංබිමේ පහළවෙන පාලක පිංවතුන්ලාට අන්‍ය ආගමික පිංවතුන්ලාගේ සහයෝගයෙන් තොරව පවතින්න බැරිව යනවා. උතුම් සද්ධර්මයට හිතැති පාලක පිංවතුන් අන්‍ය ආගමික පිංවතුන්ගේ සහයෝගයෙන් දුර්වල කර දමනවා. මේවා හේතුඵල ධර්මයන්. කා සමඟවත් ගැටෙන්න, චෝදනා කරන්න අවශ්‍ය නැහැ. උතුම් සද්ධර්මයේ අර්ථයන්ගේ ආරක්ෂාව උදෙසා පිංවත් ඔබ කවදාකවත් කිසිවෙක් සමඟ ද්වේෂයක් ඇතිකරගන්න එපා. ධර්මය උදෙසා කවදාකවත් ගල් කැබැල්ලක්වත් අතට ගන්න එපා. අධර්මයෙන් ධර්මය ජයගන්න හදන්න එපා.