උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න

සංස්කාර

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට අරගෙන භික්‍ෂුව ඉදිරියේ කැමරාව ස්‌ථානගත කළා. ඒ මොහොතේ භික්‍ෂුව, මනුෂ්‍යයාගේ සංස්‌කාර තුළ බැසගෙන විඤ්ඤානය නමැති මැජික්‌කරුවා කරන මැජික්‌ සන්දර්ශනය නුවණින් දකිමිනුයි හිටියේ. කැමරාව සූදානම් කරලා තමයි එම මහත්වරු පාත්තරයට දානය බෙදුවේ. දානය පූජාකරනකොට භික්‍ෂුවට තේරුණා දානයට වඩා මුල්තැනදීලා තිබුණේ කැමරාකරණයටය කියලා.

දවස්‌ කිහිපයකට පස්‌සේ භික්‍ෂුවට ආරංචි වුණා, එදා බෙදුව පිණ්‌ඩපාත දානයේ දර්ශන අන්තර්ජාලයේ පළවී තිබුණාය කියලා. පිංවත් ඔබ නුවණින් දකින්න. ඔබ වර්තමානයේ රැස්‌කරන කුසල් සංස්‌කාරයන් තුළ විඤ්ඤාණය බැසගෙන, එම කුසල් සංස්‌කාරයන් නැවත මමත්වයේ දැඩිභාවයෙන් තෙත් කරනවා. සංස්‌කාර අනිත්‍යභාවයට පත්වී යන වේගයෙන්ම, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා නැවත නැවත සංස්‌කාර පෝෂණය කොට දෙනවා. රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා වූ තෘෂ්ණාව, විඤ්ඤාණයේ පෝෂණයට තිබෙන හොඳම උපකාර ධර්මය වෙනවා.

භික්‍ෂුව තම භික්‍ෂු ජීවිතයේ අටවෙනි වස්‌කාලයයි මේ ලියන මොහොත වන විට ගත කරන්නේ. විශාල ජලයෝජනා ක්‍රමයක්‌ ආශ්‍රිත කොලනි ගම්මානයක්‌ වශයෙන් හඳුන්වන ගම්මානයක කුඩා කුටියකයි, භික්‍ෂුව වස්‌ශීලය සමාදන්ව වැඩසිටින්නේ. ගමේ පිංවතුන් කෙසෙල් වගාව, වී ගොවිතැන සහ රටකජු වගාව තමයි ජීවිකාව හැටියට කරන්නේ. අද උදෑසන භික්‍ෂුවට පිණ්‌ඩපාතයට, තම්බපු රටකජු පාර්සලයක්‌ පාත්‍රයට පූජාකළා. භික්‍ෂුව කොලෙස්‌ටරෝල් ගැන නොසිතාම එය වැළඳුවා. ආහාරයක්‌ වළඳන වෙලාවට, ශරීරයට සම්බන්ධ ලෙඩක්‌ මතක්‌වෙනවා නම්, එයත් අතීත අකුසල් විපාකයක්‌මයි. ලෙඩ ගැන මතක්‌වෙනකොට භික්‍ෂුවට භික්‍ෂුවගේ වයස මතක්‌වුණා. භික්‍ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්‍රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්‍ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්‍ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක්‌ සිදුනොවුණේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසාමයි. නමුත් භික්‍ෂුව දක්‍ෂ වුණා එම අකුසල් සංස්‌කාරය කුසල සංස්‌කාරයක්‌ බවට පත්කරගන්න. එය සැබැවින්ම භික්‍ෂුවගේ යම් අකුසල් සංස්‌කාරයක ඵලයක්‌ වගේම මෙය කියවන ඔබගේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌.

භික්‍ෂුව මොහොතක්‌ දෑස්‌ පියාගෙන අතීතය මෙනෙහි කරනකොට, භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, පටිච්ඡසමුප්පන්නව සංස්‌කාර පච්චයා විඤ්ඤාණ හේතුවෙන් සකස්‌වුණ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක්‌ වයසැති මහත් සේ මුහුකුරා ගිය ගොරහැඩි මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ සතර අපාසත්වයෙක්‌ගේ එකතුවක්‌. සම්මුති ලෝකය තුළ බැසගෙන මේ සටහන තබන මොහොත වන විට භික්‍ෂුවගේ වයස අවුරුදු 54 ක්‌ වුණාට, සංසාරයේ අවිද්‍යාව නිසා සකස්‌වුණු හේතුඵල ධර්මයන්ට, අවුරුදු කෝටි ගණනක අතීතයක්‌ තිබෙනවා. ඉහත ගොරහැඬි වයසක ලෝකයේ, ඔබව තරුණ කරලා, නැවුම් කරලා දෙන්නේ සංස්‌කාර සහ සංස්‌කාරයන් හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයයි.

පිංවත් ඔබ ඉහත කරුණු ආත්ම සංඥාවෙන් ගන්න එපා. ‘පටිච්ඡසමුප්පන්න’ කියන වචනය භික්‍ෂුව නිතර යොදන්නේ පිංවත් ඔබ එම අනතුරින් වලක්‌වාගන්නයි.