කබරයෙක්‌ කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම

සංස්කාර

භික්‍ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්‌ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක්‌ ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක්‌ හිරිහැර වෙනවා. පසුගිය සතියේ දවසක එක්‌ වැඩුණු වඳුරෙක්‌ මුළු දවසම කුටිය ඉදිරිපිට ගසේ රෝගීව සිටියා. ගමේ කෙනෙක්‌ තියුණු පිහියකින් පසුපස ප්‍රදේශයට පහරදීලා. අඟලක පමණ කැපුමක්‌ නිසා වඳුරාගේ පසුපස කකුල පණ නැහැ. සවස්‌ වෙනවිට වඳුරා ගහෙන් බැහැල බොහොම අමාරුවෙන් කුටිය පසුපස ප්‍රදේශයට යනවා භික්‍ෂුව දැක්‌කා. ඊට දිනදෙකකට පසුව එම රෝගී වඳුරා භික්‍ෂුවගේ කුඩා කුස්‌සිය අසල මියගොස්‌ තිබුනා. දවල් කාලයේ බල්ලන්ගෙන් හා රාත්‍රී කාලයේ නරියන්ගෙන් වන මරණ බිය නිසාම, තමන් අනතුරකට පත්වී ඇතැයි දැනගැනීම නිසාම, ආරක්‍ෂාවට වඳුරා භික්‍ෂුවගේ කුස්‌සිය අසලම රැඳී මියගිහින්.

භික්‍ෂුව ඒ වඳුරු මළකුණ කැළයට ගිහින් දැම්මා. වඳුරු මළකුණේ කුණු ගඳට වහවැටිල මළකුණ ගිල දමන්න, කුණු මස්‌ අනුභව කරලාම පෘශ්ටිමත් වෙච්ච ලොකු කබරයින් දෙදෙනෙක්‌ ඇවිත් සිටියා. මොහොතකින් කබරයින් දෙදෙනා මළකුණට ගැටී, එක කබරයෙක්‌ පිටුපස අනෙක්‌ කබරයා ලුහුබැන්දා. මරබියෙන් වේගයෙන් භික්‍ෂුවගේ කුටිය දෙසට දිවගෙන පැමිණි කබරයා, කුටිය ඉදිරිපිට තිබෙන විශාල ගසේ මීටර් 10ක්‌ පමණ උස අත්තකට බඩගෑවා. මරණ බිය නිසාම පුදුම වේගයක්‌, පුදුම ජවයක්‌ එම කබරයාට ඒ වෙලාවේ තිබුනේ.

මේ කබරයා ගසට නැග්ග වෙලාවේ සිටම භික්‍ෂුවට කුටියේ වැඩසිටින්න බැහැ. ඒ තරමට කුණු ගඳ. ගස්‌ උඩ සිටින කබරයා, කුණුමස්‌ ගොඩවල් උඩ ලැගලා කබරයන්ගේ ශරීරයෙන් මහා මළකුණු ගඳක්‌ වහනය වෙනවා. එම කබරයින්ගේ ශරීරයත් තෙත බරිතයි. සම හරිම පිළිකුල් සහගතයි. කබරයාගේ ශරීරයෙන් වහනය වෙන්නේ හරිම අප්‍රසන්න, පිළිකුල් දුගදක්‌. නමුත් මේ කබරයා තම ශරීරයෙන් හමන මළකුණු දුගඳ පුදුමාකාර සැපවේදනාවක්‌ කරගෙනයි ජීවත්වෙන්නේ. පිංවත් ඔබ මිල අධික ඉස්‌තරම් සුවඳ විලවුන් වර්ගයන් ඇඟ තවරා ගෙන එම සුවඳින් යම්සේද තෘප්තිමත් වෙන්නේ, මේ කබරයෝ තම ශරීරයෙන් වහනය වන මළකුණු ගඳින් ඒ තරමටම තෘප්තිමත් වෙනවා.

පිංවත් ඔබ නුවණින් දකින්න, කබරයාට මෙතරම් කුණු ගඳක්‌ සැප වේදනාවක්‌ කොට දකින්න කබරයා අතීතයේ මොනතරම් බලවත් අකුසල් සංස්‌කාරයක්‌ සිදුකොට ගෙන ඇතිද කියලා.

පිංවත් ඔබ මහා සංඝරත්නයට, ධර්මරත්නයට, බොරුවෙන්, චෝදනාවෙන්, විවේචනය කිරීමෙන් දුර්ගන්ධයම සැපවේදනාවක්‌ බවට පත්වෙන, කබරකුලයේ උපතකට අවශ්‍ය අකුසල් සංස්‌කාරයන් සකස්‌වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පන්නව මේ කබරයෝත් අනාගත භවයක ඉස්‌තරම්ම මිල අධික සුවඳ විලවුන් පාවිච්චි කරන, වත්කම් අධික මනුෂ්‍යයෙක්‌ වෙන්නත් පුළුවන්. සංස්‌කාරයෝ කටුකයි, වියරුයි, විෂමයි, අමිහිරියි, මිහිරියි, දුගදයි, සුගන්ධයි, සැපයි….. සංස්‌කාරයෝ මිරිගුවක්‌මයි.

පංච උපාදානස්කන්ධයට අදාළ ‘සංස්කාර’ කොටස මෙතැනින් නිමවේ.