‘මම මෙහෙම කෙනෙක්‌’ කියන මනෝලෝකයේ සිරකරුවෙක්‌ නොවන්න

විඤ්ඤාණය

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට දේශනා කරන්නේ ආරණ්‍ය, රුක්‌ඛමූල, වනසෙනසුන්, විවේකීභාවය, හුදෙකලාභාවය ජීවිතයට එකතුකොට ගන්නය කියලා.

මෙතැනදි සිද්ධවෙන්නේ තමන් තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධ මාරයාව, බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන්ගෙන් හුදෙකලා කොට තැබීමයි. මේ හුදෙකලාභාවය හේතුවෙන් විතක්‌ක අඩුවී, මුල්වටයේදී, මාරයාට පක්‍ෂව සිත සමාධිමත්කොට ගන්නවා. දෙවැනි වටයේදී මාර ධර්මයන්ම උපයෝගී කොටගෙන, මාර ධර්මයන්ට අභියෝග කරනවා. ශීලයෙන්, ආර්ය ශීලයට, සමාධියෙන් ආර්ය සමාධියට, ප්‍රඥාවෙන් ආර්ය ප්‍රඥාවට මාර්ගය යොමුකොට ගන්නවා.

නමුත් හුදෙකලා බව සොයා යැමට නොහැකි, කාර්යබහුල ගිහිපිංවතුන්ලාට, තමන් තුළත්, අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංචඋපාදානස්‌කන්ධ මාරයාය කියන කාරණය තේරුම්ගෙන සමාජ ඇසුරේදී මතුවෙන දෘෂ්ටි, විතර්ක, මඟහැර යැමට, දුරුකිරීමට ඔබ දක්‍ෂ නම්, එම මාර ධර්මයන්ගෙන් හිස්‌වෙන පිංවතුන්ගේ සිත, ගිහි ගෙදර සිටියදීම, විවේකාගාරයක්‌, හුදෙකලාවක්‌ බවට පත්කොට ගැනීමට, ගිහි පිංවතුන්ලාට හැකිවෙනවා. හුඟක්‌ ගිහි පිංවතුන්ලා, අනුන්ගේ තර්ක, විතර්ක, දෘෂ්ටි, මතවාදවලට උවමනාවෙන්ම පැටලී, තමන්ගේ සිතේ, හුදෙකලාව විනාශකොට දමා ගන්නවා. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ අනිත්‍යභාවය පුහුණු කිරීම, එවැනි පිංවතුන්ලාට වටිනා ඔසුවක්‌ වෙනවා.

භික්‍ෂුව කුටියේ වැඩසිටිනකොට පැමිණි සාමණේර ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා, තමන් අහවල් ආරණ්‍යයේ වැඩසිටියා, එම ආරණ්‍යයේ විවේකය හුදෙකලාව මදි, එම නිසා තමන් දැන් වැඩසිටින්නේ අහවල් කැලයේ, ගමේ සිට කිලෝමීටර් හතරක්‌ පමණ ඈත ගල් කුටියක. දිනකට කිලෝමීටර් 8 ක්‌ පමණ ඇවිදින්න ඕනේ පිණ්‌ඩපාතයට. හරිම දුෂ්කරයි. පිණ්‌ඩපාතයට ගමට වැඩියහම ගමේ ළිඳකින් තමයි පැන් පහසු වෙන්නේ. සමහර දවස්‌වලට පිණ්‌ඩපාතයට වඩින්නේ නැහැ. නිරාහාරව සිටිනවා. නිතරම මාර්ගයේ අලින් මුණගැහෙනවා…. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් තමන්ගේ තොරතුරු ප්‍රකාශ කළා. එම සාමණේර ස්‌වාමීන් වහන්සේගේ කතාබහෙන් භික්‍ෂුවට තේරුම් ගියේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල ස්‌වභාවයක්‌. භික්‍ෂුව එම ස්‌වාමීන්වහන්සේaට අවවාද කළා. ඔබවහන්සේට පුළුවන් ඉක්‌මනට, වැඩිහිටි ස්‌වාමීන් වහන්සේලා කිහිපනමක්‌ වැඩසිටින ආරණ්‍යයක ආරණ්‍යගත වෙන්නය කියලා. වැඩිහිටි ගුරුවරයකුගේ ඇසුර ලබන්නටය කියලා. අවම වශයෙන් මාස තුනක්‌වත් එම කටයුතු කරගෙන කැලයට යන්න අවශ්‍යම නම්, ගම්මානයට උපරිම කලෝමීටර් එකක්‌ පමණ කිට්‌ටුව තිබෙන කුටියක්‌ තෝරාගන්නය කියලා. භික්‍ෂුව මෙහෙම ප්‍රකාශ කරනකොට එම සාමණේර ස්‌වාමීන් වහන්සේ කියනවා ‘ඔබවහන්සේ මගේ වීර්යය, දුර්වල කරනවා නේද’ කියලා. එම තරුණ ස්‌වාමීන්වහන්සේ නොසතුටු සිතින් භික්‍ෂුව වන්දනා කොට පෙරළා වැඩියා.

මාස දෙකකට විතර පස්‌සේ භික්‍ෂුවට ආරංචිවෙනවා, මානසික රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතවෙලාය කියලා. විඤ්ඤාණය නැමැති මැජික්‌කරුවා, රූපයන් කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් හේතුවෙන් ඇතිකොට ගන්නා ‘මම මෙහෙම කෙනෙක්‌’ කියන දැනීම, අපව මානසික රෝගීභාවයන්ට, උඬඟුභාවයන්ට පත්කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ගිහිපිංවතුන්ලා ලබාදෙන ‘ඔබවහන්සේ මෙහෙම කෙනෙක්‌’ කියන දැනීම, උන්වහන්සේලාට ‘මම මෙහෙම කෙනෙක්‌’ කියන දෘෂ්ටිය පෝෂණය කොටගැනීමට හොඳ පිටිවහලක්‌ වෙනවා. මේ අදහස්‌ කෙම පංචඋපාදනස්‌කන්ධ මාරයින්ය කියලා හඳුනාගන්නේ නැහැ.

තවත් අවස්‌ථාවක සාමණේර ස්‌වාමීන් වහන්සේනමක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියා. උන්වහන්සේ ගොඩක්‌ කතාකරන ස්‌වාමීන්වහන්සේ නමක්‌. උන්වහන්සේ තමන් කරන භාවනා ගැන දීර්ඝ විස්‌තරයක්‌ කළා. තමන්ගේ අවබෝධයන් පිළිබඳවත් ඉඟි කිහිපයක්‌ ප්‍රකාශ කළා. අවසානයේ උන්වහන්සේ කියනවා ‘මට දැන් කරන්න දෙයක්‌ නැහැ’ කියලා. මට දැන් කරන්න දෙයක්‌ නැහැ කියන කාරණයෙන් උන්වහන්සේ අදහස්‌ කළේ, බොහොම ගැඹුරු අවබෝධයක්‌ පිළිබඳ ඉඟියක්‌. භික්‍ෂුවට තේරුම් ගියා මේ කතාකරන්නේ විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාමයි කියලා. භික්‍ෂුව එම සාමණේර ස්‌වාමීන් වහන්සේගෙන් ඇහුවා, ඔබවහන්සේගේ වයස කීයද කියලා. උන්වහන්සේගේ වයස අවුරුදු 30 ක්‌ පමණ වෙනවා. ඒ වෙලාවේ භික්‍ෂුව උන්වහන්සේගෙන් විමසුවා ‘ඇයි ඔබවහන්සේ උපසම්පදා වෙන්නේ නැත්තේ?’ කියලා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මගේ ශීලයේ යම් දුර්වලතාවයන් තිබෙනවා. ඒවා නිවැරදි කරගත් විගස මම උපසම්පදා වෙනවාය කියලා. බලන්න තවමත් ශීලයෙන් පරිපූර්ණභාවයටත් පත්වෙන්නේ නැතිව, තමන් ලැබූ උතුම් අවබෝධයක්‌ ගැන ඉඟිකරනවා. උපසම්පදා ශීලයට බිය නම්, කුමන මාර්ගඵල අවබෝධයක්‌ ලබාගන්නද? රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් නිසාම සකස්‌වෙන විශේෂඥ දැනීම් ‘මම මෙහෙම කෙනෙක්‌’ කියන මනෝලෝකවල අපිව සිරකරුවන් කරනවා. තමා තුළින් ක්‍රියාත්මක වන ‘දැනීම්’ විඤ්ඤාණය කියන මැජික්‌කරුවාගේ ප්‍රයෝගයක්‌ බව හඳුනා ගන්නේ නැහැ.