සංස්‌කාර යනු පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්‌මය

උතුම් සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්‌. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා සියලු ජාතිකයන්, සියලු ආගමිකයන්, රකින පෝෂණය කරන පිංවතෙක්‌. තමන් මැරෙනවාය, මැරිලා පටිච්චසමුප්පන්නව උපදිනවාය කියල හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌. ඔහු හැම ආගමකටම, හැම ජාතියකටම අයත් සෑම පිංවතෙක්‌ම සංසාරයේ තමන්ට අම්මා තාත්තා වෙලා තිබෙනවාය, අතීත භවයන්හිදී ඥාතිත්වයකින් බැඳුණු කෙනෙක්‌ය, කියන විශ්වාසය තිබෙන පිංවතෙක්‌. ඒ නිසාම සමාජයට ඔහු හොඳ ආරක්‍ෂකයෙක්‌ වෙනවා. සම්මා දිට්‌ඨියට පත්වූ පුද්ගලයා, මේ මොහොතේ තමන් සිංහල බෞද්ධයෙක්‌ වුණත්, අතීත භවයන්හිදී, මම ද අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් හැටියට සිටියාය කියලා හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌ වෙනවා. ඔහු දන්නවා, තමන්ද මේ ජීවිතයේදී සම්මා දිට්‌ඨියෙන් දුර්වල වුණොත් නැවත තමන් ද, අන්‍ය ජාතික මවු කුසක උපත ලබනවාය කියන කාරණය. මේ නිසාම ඔහු සෑම ජාතිකයකුටම මනුෂ්‍යත්වයෙන්, ඥාතීත්වයෙන් සලකන කෙනෙක්‌ වෙනවා. ඔහු එසේ කරන්නේ තමන්ගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන් තව තවත් පෝෂණය කොට ගන්නවා.

සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, සමාජයේ පවතින සම්මා දිට්‌ඨිය මිථ්‍යාදෘෂ්ටිය, දුප්පත් පොහොසත් බව, උගත් නූගත් බව, කුලවත් කුලහීන බව උපතින්වත්, සමාජය නිසාවත් සිදුවූ දේවල් නොව, අතීත සංස්‌කාරයන්ගේම ඵලයක්‌ බව දකිමින්, ඒවාට නොඇලෙන, ඒවාට නොගැටෙන කුසල් පක්‍ෂයම වර්ණනා කරන, සමාජයට දානයෙන්, ශීලයෙන් පූර්වාදර්ශයක්‌ ලබාදෙන පුද්ගලයෙක්‌ වෙනවා. ඔහු ජනතාව තුළ බේදයක්‌ ඇතිවෙන, අකුසල් උපදවන ක්‍රියාවන් තම සම්මා දිට්‌ඨියේ දැක්‌ම තුළින්ම මඟහරවා ගැනීමට දක්‍ෂ කෙනෙක්‌ වෙනවා. පිංවත් ඔබ නුවණින් විමසා බලන්නකෝ, සම්මා දිට්‌ඨිය වැනි මෙච්චර මනුෂ්‍යත්වයෙන් පිරුණු, සමාජ ආරක්‍ෂකයෙක්‌ ජීවමානව තිබියදී සමාජය මොනතරම් මිථ්‍යදෘෂ්ටි, මිථ්‍යා සංකප්ප පසුපස්‌සේ ගමන් කරනවාද. ඒවා ක්‍රියාත්මක කිරීමට ගොස්‌ ප්‍රශ්න ඇති කොට ගන්නවාද කියලා. මේවායේ අවසාන ඵලය වෙන්නේ සිංහල බෞද්ධකම දුර්වල වීමය. සිංහල බෞද්ධකම දුර්වල වීමෙන් සිදු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල වීමෙන් සිදු වන්නේ මාරයා අත්පොළසන් දෙන සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම ආරක්‍ෂකයා වන්නේ, සම්මා දිට්‌ඨියට පත් බෞද්ධ ජනතාව බව හොඳින් තේරුම් ගන්න. එම නිසා පිංවත් ඔබ ජීවිතය ඉදිරියට පැමිණෙන මොනම අභියෝගයකදීවත්, මොනයම් ජයග්‍රහණයකදීවත්, ‘මම සිංහල බෞද්ධයෙක්‌’ය කියලා කියන්න බය වෙන්න එපා.

සම්මා දිට්‌ඨියට පත් පිංවතුන්ට පමණක්‌මයි සමාජයට යහපත් ආරක්‍ෂකයෙක්‌ බවට පත්වීමට අවස්‌ථාව ලැබෙන්නේ. එසේ නොවන තැනදී සමාජය එක ප්‍රශ්නයක්‌ විසඳාගන්නේ, අනාගතයේදී තවත් බරපතල ප්‍රශ්න ඇති වෙන ආකාරයෙන්මයි. මේ මොහොතේ ඔබ ජීවත් වන සමාජය තුළ සිදුවන්නේ ඔබ කැමැති කරන දෙයක්‌ නම් එයත් හේතුඵල ධර්මයක්‌මයි. ඔබ ජීවත් වන සමාජය තුළ සිදුවන්නේ ඔබ අකැමැති කරන දෙයක්‌නම් එයත් හේතුඵල ධර්මයක්‌මයි. මනුෂ්‍යයාගේ කැමැත්ත අකැමැත්ත කියන්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌මයි. සංස්‌කාර කියන්නේ පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්‌මය. එම නිසා මාරයාට අයිති කැමැත්තට පිංවත් ඔබ ඇලෙන්නේ නැතිව, මාරයාටම අයිති අකැමැත්තට ඔබ ගැටෙන්නෙත් නැතිව කැමැත්ත අකැමැත්ත දෙකම ඉදිරියේ ධර්මයේ අර්ථයන්ම, සංසාර බියක්‌ම, අකුසලය වර්ධනය වන ලෝකයක පංචනීවරණවලින් විසිරුණු මනෝභාවයන්ගේ බියකරු බවම දකිමින් පිංවත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයෙන් සමාජයට පූර්වාදර්ශයන් ලබාදෙන සමාජය ආරක්‍ෂකයෙක්‌ බවට පත්වෙන්න.

පිංවත් ඔබ ඉදිරියට පැමිණෙන ඕනෑම පුද්ගලයෙක්‌ගේ විශ්වාසය එකම මිනුම් දණ්‌ඩ සම්මා දිට්‌ඨියේ අර්ථයන් බවම හිතටගන්න. එහෙත් පංචඋපාදානස්‌කන්ධ මාරයා කෙරෙහි විශ්වාසය නොතබන්න. පිංවත් ඔබගේ මේ ව්‍යායාමය හුදු නිස්‌සාර, නිත්‍ය සැපයක්‌ ගැන බලාපොරොත්තුව නොව, නැසෙන ලෝක ධර්මයන් හමුවේ තමන් තව තවත් සද්ධර්මයෙන් ශක්‌තිමත් වීමටත්, අනුනට කල්‍යාණමිත්‍රභාවයෙන් සද්ධර්මය එක දිනක්‌ හෝ ආරක්‍ෂාකොට දීමත් පමණක්‌ම බව කල්පනාකොට ගන්න. වෙනස්‌ වන ලෝකයක්‌මයි මේ. තත්පරයෙන් තත්පරය වෙනස්‌ වන ලෝකයක්‌ මේ. අධිවේගයෙන් වෙනස්‌ වන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ මේ. තෘෂ්ණාවේ වේගවත්භාවයට සරිලන ආකාරයට සිතුවිලි ක්‍රමවේදයන් වෙනස්‌ වෙනවා. අකුසල් වේගවත් වන සමාජයක පිංවත් ඔබ ඇති කොට ගන්න සෑම බලාපොරොත්තුවක්‌ අභියසම සියලු සංස්‌කාරයෝ අනිත්‍ය බවම සිතන්න දක්‍ෂ වෙන්න. අකුසලය පොදුවේ කාටවත්ම වැඩි වේලාවක්‌ සතුටු වෙන්න අවස්‌ථාව දෙන්නේ නැහැ. විනෝද වෙන්න දෙන්නේ නැහැ. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා තෘෂ්ණාවේ වේගවත්භාවය නිසා වර්තමානයේ දැඩිව සක්‍රියවයි සිටින්නේ. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා මනුෂ්‍යයාව සුදු රෙදි කඩකින් වසා, තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන අනාගත ලෝකයට ප්‍රේතයන්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින්, මිථ්‍යදෘෂ්ටික මනුෂ්‍යයින් නිර්මාණය කරවයි. මැජික්‌ සංදර්ශනයේ දෝංකාරයයි, සමාජය තුළ වර්තමානයේ දකින්නට ලැබෙන්නේ. මෙවන් සංදර්ශන භූමි තුළ පිංවත් ඔබ කැමැත්තට හෝ අකැමැත්තට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව සම්මා දිට්‌ඨියේ අර්ථයන් තමන් තුළිනුත්, අනුන් තුළිනුත් ශක්‌තිමත් කිරීම දෙසටම ගමන් කිරීමට දක්‍ෂ වෙන්න. සෑම අභියෝගයක්‌ හමුවේම පලා යැමෙන් තොරව, අකුසලයේ කටුක යථාර්ථය පිළිබඳව අර්ථයන්ම , විදර්ශනාමය දැක්‌මක්‌ම ජීවිතයට එකතුකොට ගන්න.

‘මෙයා හොඳයි. මෙයා නරකයි’ කියා ඔබ හඳුන්වන සියලු පාර්ශ්වයන් මාරයාගේ කාසියේ දෙපැත්ත බවම නුවණින් දකිමින් සම්මා දිට්‌ඨියේ අර්ථයන්ට මුල් තැන දෙමින් පිංවත් ඔබ, ධර්මය සුරැකීමට උත්සාහ කරන්නා ධර්මය තුළින් සුරක්‍ෂිත වෙනවාය කියන ස්‌වභාවයට ජීවිතය අතහරින්න.