පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක්‌ වීමේ අගයම දකින්න

මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක්‌ සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක්‌ වීම හරිම අනතුරක්‌ නේද කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක්‌ වීම මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්‌මයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව දන්නේ ඔබ පමණක්‌මයි. ලෞකික ලෝකයේ සක්‌විති රජවෙන මාර්ගයත්, ශක්‍රයා වෙන මාර්ගයත් පිංවත් ඔබමයි දන්නේ. දුක දැකලා, දුකට හේතුව වන තෘෂ්ණාව සියුම් කරලා, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන් සාක්‌ෂාත්කොට ගැනීමට දන්නේ ඔබ පමණක්‌මයි. පින ගින්දරයක්‌ය කියන කාරණය අත්දැකීමෙන්ම දැකලා, භව නිරෝධය දුකෙන් මිදීම සාක්‌ෂාත් කරගත හැක්‌කේ උතුම් බෞද්ධ පිංවතුන්ට පමණක්‌මයි.

දුක අවමකොටගැනීම උදෙසා, සැප විඳීම උදෙසා, දුක සහ සැප නිරෝධය උදෙසා මාර්ගය දන්න බෞද්ධ පිංවතෙක්‌ වීමේ ශ්‍රේෂ්ඨභාවය පිංවත් ඔබ ජීවිතය තුළින් මතුකොට දකින්න. එවිට පිංවත් ඔබට දක්‍ෂභාවය ලැබෙනවා, පින දක්‍ෂභාවයෙන් කළමනාකරණය කොටගෙන රාජ්‍ය නායක පිංවතෙක්‌ට වුවද, රාජ්‍ය නායකත්වය දරමින් උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න. භවයට කැමති නායකයෙක්‌ නම්, උතුම් සුගතියේ නැවත උපතක්‌ සකස්‌කොට ගන්න.

තමන් විසින්ම, පටිච්ඡසමුප්පන්නව රැස්‌කොට ගන්නා වූ අතීත පිනට අදාළ සංස්‌කාරයන්, ධනය, බලය, නිලතල වශයෙන් ඔබට ලැබෙනකොට පින ගින්දරක්‌ බවට පත්කොට නොගෙන, පින ධර්මය උදෙසා, පින සැබෑ ධර්මයේ සැපය උදෙසා කළමනාකරණය කොට දෙන්නේ පංචශීලය විසින්මයි. පංචශීලයේ ආරක්‍ෂාවයි පින ඔබව පෞරුෂත්වයෙන් යුතු නායකයෙක්‌ බවට, පෞරුෂත්වයෙන් යුත් ධනවතෙක්‌ බවට පත්කරන්නේ. සිල්පද පහ ජීවිතයෙන් ආරක්‍ෂාකොට නොගන්නා කුමන නායකයෙක්‌ වුවද තමනුත් විනාශ වී රටත් විනාශය කරාම හේතුඵල ධර්මයන් පරිදිම රැගෙන යනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුශ්ශීලභාවයේ ඵලයන් ජයගත හැක්‌කේ සිල්වත්භාවය තුළින්මයි කියලා. සිල්වත්භාවයෙන් තොරව ලබාගන්නා යම් ජයග්‍රහණයක්‌ වේද, එම තාවකාලික ජයග්‍රහණය නැති ප්‍රශ්න ගණනාවක ආරම්භයක්‌ සමාජයට ඇතිකොට දෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, මේ ලෝක ධාතුවේ මනුෂ්‍යයන් අප්‍රමාණ යාගයන් සිදුකරනවා. සමහර අනුවන මනුෂ්‍යයෝ දහස්‌ ගණන් අහිංසක, අසරණ තිරිසන් සතුන්ගේ බෙලි කපලා, එම සතුන්ගේ මරණ බයෙන්, එම සතුන්ගේ ලෙයින්, කඳුලින්, සුසුමින් දෙවියන් පුදනවා. බ්‍රහ්මයන් පුදනවා. විමුක්‌තිය ප්‍රාර්ථාන කරනවා. සුගතිය ප්‍රාර්ථනා කරනවා. ග්‍රහ අපල දුරුකරගන්න ප්‍රාර්ථනා කරනවා. මෙම අමානුෂික සත්ත්ව යාගයන් සිදුකරන දුශ්ශීල බමුණන් යාග කරුවන් සිටිනවා. එම යාගකරුවන් රැකෙන්නේ, යැපෙන්නේ මෙවැනි අමානුෂික යාගවලින් ලැබෙන ‘යාග පිරිකරෙන්’ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මහණෙනි මේ ලෝක ධාතුවේ තවත් සමහර මනුෂ්‍යයෝ විමුක්‌තිය පතා දෙවියන්ගේ මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදය පතා, ග්‍රහ අපල දුරුකොට ගැනීම අරමුණුකොටගෙන රත්හඳුන් දැව, සුදු හඳුන් දැව ටොන් ගණන් පුච්ච පුච්චා එම සුවඳ දුමෙන් යාගයන් සිදුකරනවා. එළඟිතෙල්, මී පැණි කලගෙඩි ගණන් ගින්නට දමමින්, ගිනි දෙවියන් පුදමින් යාගයන් සිදුකරනවා. මේ සෑම යාගයක්‌ම මනුෂ්‍යයෝ සිදුකරන්නේ තමන්ගේ විමුක්‌තිය උදෙසාමයි. සෞභාග්‍යය උදෙසාමයි.

ඒ වගේමයි මහණෙනි, අධර්මිෂ්ඨ මනුෂයෝ මෙවැනි තවත් යාගයන් සිදුකරනවා. එම යාගයන් ම්ලෙච්ඡයි, කුරිරුයි, නපුරුයි, අසත්පුරුෂයි. අධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ මේ යාගය සිදුකරන්නේ, තමන්ගේ ජාතියේ, තමන්ගේ ආගමේ, තමන්ගේ කුලයේ, තමන්ගේ පක්‍ෂයේ, තමන්ගේ බලයේ විමුක්‌තිය උදෙසායි. මෙම වියරු යාගයේදී මනුෂ්‍යයෝ කඩු, පොලු, කිණිසි, මන්න, පොරව, තුවක්‌කු අරගෙන මනුෂ්‍යයින්ගේ ඔලු පලනවා. අතපය කපා දමනවා. පහරදීලා මරලා දමනවා. මනුෂ්‍යයාගේ ලෙයින්, කඳුලින්, ගින්දරින් විමුක්‌තිය සොයන මෙවැනි වියරු යාගකරුවන් ජනතාවගේ ගෙවල් ගිනි තබනවා. ව්‍යාපාර ස්‌ථාන ගිනි තබනවා. පන්සල් පල්ලි පාසල් රෝහල් ප්‍රවාහන සේවාවන් ගිනි තබනවා. විනාශයේම, භීෂණයේම ආශිර්වාදයෙන් විමුක්‌තිය සොයන, නැතිවී යන බලයට අධර්මයෙන් ආශිර්වාද ලබාගන්නා මෙවැනි අසත්පුරුෂ යාගයනුත් මනුෂ්‍යයින් විසින් සිදුකරනවා.

බුදුරජාණන්වහන්සේලා මෙවැනි අමානුෂික යාගයන් අනුමත කරන්නේ නැහැ. දුශ්ශීලභාවයේ පතුළටම කිඳාබසිමින් මනුෂ්‍යයන් කරන මෙවැනි යාගයන් නිසා දුකක්‌මයි, විනාශයක්‌මයි, නැවත සතර අපායේ උපතක්‌මයි එම අකීකරු මනුෂ්‍යයෝ අයිතිකොට ගන්නේ. පසුගිය හතලිස්‌ වසර පුරාවට මෙවැනි අමානුෂික මිනිස්‌ යාගයන් රාශියක්‌ම අපේ රටෙත් සිදුවුණා. මීට මාස කිහිපයකට පෙරාතුවත් මෙවැනි නපුරු යාග භූමියක්‌ කන්ද උඩරට ප්‍රදේශයේ තිබුණා. ආර්ය අෂ්ඨාංග මාර්ගයෙන් බැහැරවී දුශ්ශීල භාවයෙන් ජාතික, ආගමික, පක්‍ෂ, බලය උදෙසා විමුක්‌තිය සොයන මනුෂ්‍යයෝ යහපතේ නාමයෙන් අයහපතම සමාජයට දායාද කොට දෙනවා.