ගීයක්‌ කවියක්‌ මුමුණනු වෙනුවට

විශේෂ වෙසක්‌ දින ලිපිය – 3 කොටස

උතුම් වූ උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල් ශාසනය ජීවමානව පවතී. ශාසනය ජීවමානව පවතින තුරාවට ධර්මයේ සංදිට්ඨික වූද අකාලික වූද ගුණයන් පිංවත් ඔබට ඔබගේම ජීවිතය තුළින් අත්දකින්න උතුම් අවස්‌ථාවක්‌ තිබෙනවා. පිංවත් ඔබ උත්සහගත යුත්තේ එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ඔබේ ජීවිතයට ලබා ගැනීමටයි. පිංවත් ඔබ නිවසේදීද, කාර්යාලයේදීද විවේකීව සිටින සෑම මොහොතකම සතියෙන් සිහියෙන් යුතුව ඔබගේ ඇස දෙස බලන්න. ඇසට පෙනෙන රූප දෙස බලන්න. ඇසත් රූපත් අනිත්‍යයි නේද? ඇසෙත්, ඇසින් දකින රූපවලත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. ඇසටත් රූපයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න. පිංවත් ඔබ කන දෙස බලන්න. කනට ඇසෙන ශබ්දයන් හොඳින් අසන්න. මේ සෑම ශබ්දයක්‌ම හටගන්නේ රූපයකින් නේද? කනත් ශබ්දයත් අනිත්‍යයි නේද? කනත් කනට ඇසෙන ශබ්දයෙත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. කනටත්, ශබ්දයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හොඳින් මෙනෙහි කරන්න. මේ සෑම ගඳ සුවඳක්‌ම ඇතිවන්නේ රූපයකින් නේද? මේ සෑම ගඳ සුවඳක්‌ම අනිත්‍යයි නේද? නාසයේත් ගඳසුවඳේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. නාසයටත් ගඳසුවඳටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පින්වත් ඔබ ඔබේ දිව දෙස බලන්න. දිවට දැනෙන රසයන් ගැන දකින්න. මේ සෑම රසයක්‌ම ඇතිවන්නේ රූපයක්‌ නිසාම නේද? මේ සෑම රසයක්‌ම අනිත්‍යයි නේද? දිවත්, දිවට දැනෙන රසයේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. දිවටත් රසයටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබාගන්න.

පිංවත් ඔබ මනස ගැන දකින්න. මනසේ ඇති වන සිතිවිලි දෙස බලන්න. මේ සෑම සිතිවිල්ලක්‌ම ඇතිවුනේ රූපයක්‌ නිසා නේද? මේ ඇතිවුණා වූ සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍යයි නේද? මනසත් මනසේ ඇතිවන සිතිවිලිත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. මනසටත්, ධර්ම රූපයන්ටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

පිංවත් ඔබ කය ගැන දකින්න. කයට දැනෙන පහස දෙස බලන්න. කයට දැනුනා වූ සෑම පහසක්‌ම ඇති වුණේ රූපයක්‌ නිසා නේද? මේ ඇති වුණා වූ සෑම පහසක්‌ම අනිත්‍යයි නේද? කයත්, කයට දැනෙන පහසත් නිත්‍ය භාවයෙන් නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. කයටත් කයට දැනෙන පහසටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

මුළින්ම ඔබගේ ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන අනිත්‍යය දකිනවා වගේම ක්‍රමයෙන් ඔබ කැමති, අකමැති ස්‌ත්‍රී පුරුෂ රූපයන්ගේ ද ඉහත ආකාරයෙන්ම අනිත්‍ය ස්‌වභාවය දකින්න. පිංවත් ඔබගේ විවේක කාලය දුකට හේතුවන, ඔබ කැමැති අකමැති රූපයන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට නොව, පිංවත් ඔබගේ විවේකය නිවීමේ මඟට ශක්‌තියක්‌ වන තෘෂ්ණාව සිඳෙන දිශාවට යොමුකරන්න. පිංවත් ඔබ මුළින්ම රූපයන් කෙරෙහි ඇලීමේ ගැටීමේ ස්‌වභාවයෙන් මිදෙමින් උපේක්‍ෂාවෙන් රූපය දැකීමට පුහුණුවන්න. දැන්ම උපේක්‍ෂාව ද අතහැරීමට ඉක්‌මන් නොවන්න. කලබලකාරී බවද, වේගවත් බවද එම සිතිවිලි වල අනිත්‍යභාවය දකිමින් උපේක්‍ෂාව තුළට ගන්න. යෝගාවචරයෙක්‌ වීමට පෙර ඔබ මුළින්ම යහපත්, සුන්දර පෞරුෂයකින් යුත් මනුෂ්‍යයෙක්‌ වන්න. යුතුකම් දන්න, යුතුකම් ඉටුකරන ගිහි පිංවතෙක්‌ වන්න. පිංවත් ඔබේ ජීවිතය කුසල් ධර්මයන්ගෙන් පුරවාගන්න. මේ කුසල්, භව නිරෝධය සඳහාම යැයි ෙච්තනාවන් සකස්‌කර ගන්න. පිංවත් ඔබ ධර්මය අවබෝධකර ගනිමින් පෙරට යන්නේ පිංවත් ඔබ තුළම සකස්‌වන්නා වූ අධර්මය ‘කෙලෙස්‌’ පරාජය කරමින් බව හොඳින් මතකයේ තබාගන්න. ඒ නිසා පිංවත් ඔබ ඔබට අවංකවෙන්න. ඔබ ඔබට වංක වී ඔබ කොතෙක්‌ ලෝකයට අවංක වීමට ගියත් අර්ථයක්‌ නොමැති බව වටහාගන්න. මෝහයේ කෙටි සැපයත්, අවබෝධයේ නිදහසත් අතර ඇති අයෝමය වෙනස සතියෙන් සිහියෙන් යුතුව නිරතුරුවම මෙනෙහි කිරීමට පුරුදුවෙන්න. වසර 2600 සම්මාසම්බුද්ධ ජයන්තිය උත්සවශ්‍රීයෙන් අද වෙසක්‌ දිනයේ සමරණ ඔබ, වසර දෙදහස්‌ හයසියවැනි සම්මා සම්බුද්ධ ජයන්තියක්‌ අනාගතයේදී නැවත සැමරන වාරයක්‌ පැමිණයදාට…. එදාට පිංවත් ඔබ කුමන ලෝකයක, කුමන සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටිය හැකිදැයි මෙනෙහි කරන්න. පෙර බුද්ධශාසනයේ 2600 වැනි සම්මා සම්බුද්ධ ජයන්තිය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ උදවිය වර්තමානයේ ලක්‍ෂ කීයක්‌ සතර අපායේ දුක්‌විඳිනවා ඇතිද? ඒ නිසා පිංවත් ඔබ ධර්මය අර්ථය තුළට එන්න. අදවන් උතුම් වෙසක්‌ දිනයේ විදුලි බුබුලු, චිත්‍ර බකට්‌, වෙසක්‌ කූඩු බලනවා වගේම දුකට හේතුවන තෘෂ්ණාව දෙසත් බලන්න. එයමයි දුකේ අර්ථය. දුකින් මිදීමේ අර්ථය ධර්මයයි. ධර්මය යනු අනිත්‍යයි. මුළින් පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය ගැන බැලුවා වගේම රූපය ඇසුරින් සකස්‌වෙන්නා වූ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දෙසත් බැලිය යුතුයි. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න.

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම්චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇසත් රූපයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කනත් ශබ්දයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

නාසය අනිත්‍යයි, ගඳසුවඳ අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
නාසය අනිත්‍යයි, ගඳ සුවද අනිත්‍යයි
නාසයත් ගඳසුවඳත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිවත්, රසයත්, විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනසත් සිතිවිලිත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කයත් පහසත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

පංච උපාදානස්‌කන්ධයමයි ලෝකය කියන්නේ. අතීතයේ, වර්තමානයේ දැක්‌කාවූ රූපයන් ගලපමින් එම රූපයන් ඇසුරින් සකස්‌වුන නිරතුරුවම අනිත්‍යභාවයට පත්වුන ඉහත ධර්මතාවයන් මනසින් දකින්න, මෙනෙහි කරන්න, සඡ්ජායනා කරන්න, මුමුණන්න.

මේ කුමක්‌ කළත් පිංවත් ඔබ ධර්මරත්නය කෙරෙහි ගෞරවයෙන් නම් එය කරන්නේ එය ඔබේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවි. පිංවත් ඔබට භාවනාවක්‌ ලෙස මෙම ධර්මය වැඩීමට අවකාශය අඩුනම් ඔබ ගීයක්‌, කවියක්‌, මුමුණනවා වෙනුවට අර්ථය දකිමින් ගෞරවයෙන් ඉහත ධර්මය හඬනගා කීවද එය ඔබට යහපතක්‌ පිණිසමයි හේතුවෙන්නේ. මේ ලෝක ධාතුව තුළ ඇති පරම සත්‍යයයි, ඔබ හඬනගා කියන්නේ කියලා දෙවියන් ඔබට සාධුකාර දේවී.